Monday, March 28, 2011

ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගිය අපේ සංවර්ධන ව්‍යාපාරය

ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගිය අපේ සංවර්ධන ව්‍යාපාරය
පුහුලහේන ......... , මාතර දිස්ත්‍රික්කයේ, දුෂ්කර යැයි සැලකෙන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් වන වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තවත් එක් දුෂ්කර ගමකි, ග්‍රාම නිලධාරී බල ප්‍රාද්ශයකි.
පවුල් 283ක් ජීවත් වන මෙකී භූමිභාගය සොබා මවගේ කාරුණික අවධානය දිනා ගැනීමෙහිලා දක්වා ඇත්තේ අඩු  භව්‍යතාවක් වන අතරම, මෙනිසාම වියලි කාලයේ දී සූර්ය‍ාගේ අනවරත පීඩාවන්ට ද, පාංශුමය වශයෙන් රළු, ගොරහැඩි යකුළුවලින් ද සමන්විත විෂම වූ උස්භූමි සහිත ප්‍රදේශයකි.
මෙහි ජීවත් වන අති බහුතරය දිළින්දන් වන අතරම, උනුන්ට මහපොළව සමඟ උරෙනුර ගැටීමට සිදුව ඇත්තේ තම කායික ස්වස්ථතාවය හෝ තම අධි මේද ස්ථරය දහනය කිරීමට නිසාවෙන් නොවන අතර, සිය අඹු-දරුවන් රක්ෂා කරනු වස් ආහාර හා මුදල් සොයා ගැනීම අත්‍යවශ්‍ය නිසාවෙනි.
හැකියාව ඇත්තවුන් මිල්ල සොයා උදෑසන කැදළි තුළින් පියඹා යාමත්, උනුන් අනුකරණය කරමින් සෙස්සන් ද දැනුම ඇතුළු සියලු දේ සොයා සොයා පිටතට ඇදීයාමත් සිදුවන්නේ නිරෝත්සාහිකව වන අතරම, ඔවුන් පිළිගැනීමට අවශ්‍ය සමාජමය වටපිටාව ද සැකසී ඇත්තේ පරිණාම වාදය සත්‍ය බව පසක් කරමිනි.
නමුත් සියලු අභියෝග එකහා සමව දරා ගැනීමට සිදුව ඇති නැත්තන් ද කුලී කර්මාන්තය හෝ තම කායික සවිය ගස්-ගල් සමඟ මුහු කරන්නේ ඔවුන් ද සමාජීය සත්ත්වයන්ම වන බැවිනි. බොහොමයක් නැත්තවුන් තම දරුවන් දිවාකළ පාසල් යවනුයේ එම ස්ථානය පැය කිහිපයකට හෝ තම දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කරයි යන හැඟුමෙන් මිසක, දරුවන් වෙදුන් හෝ ලිපිකරුවන් කිරීමටම නම් නොවේ. මොවුන්ගේ වාසනා මහිමය ක්‍රමයෙන් කාලය උදුරා ගත්ත ද තවම සමාජයේ නෂ්ඨාවශේෂ බවට පත්වෙමින්, අවයව ක්ෂීණ වෙමින් යන පාසල් ගොඩනැගිලි සියලු සංස්කාර ධර්මයන්හි අනියත බව පසක් කරමින් තම අතීත ශ්‍රී විභූතිය සිහි ගන්වනුයේ කුසට නොකා තම දරුවන් පෝෂණය කරන උත්තම හෙළ මාතෘත්වය සිහිකරමිනි.
2010 ජුනි මස 08 දිනය පුහුලහේන ග්‍රාමයට නව දිනයක් විය. දෙවරක් දරන ලද උත්සාහයක් ප්‍රතිඵල මල්ඵල ගැන්විණි. පුහුලහේන ග්‍රාම නිලධාරීනී ලක්මිණි මෙනවියගේ ද නොපසුබට වීර්්‍යය යටතේ ප්‍රදේශයට ඌණපූරකතයක්ව පැවති ග්‍රාම සංවර්ධන සමිතිය ගොඩනැංවීමටත්, එතුළින් සමාජ කථිකාවත ගොඩනැංවීමට අවැසි පසුබිමත් නිර්මාණය කෙරුණි. ග්‍රාම සංවර්ධන සමිතිය තුළ දුප්පතුන් සඳහා අවශ්‍ය මූල්‍ය සවිය ලබා ගැනීමට ගැමිසෙත වැඩසටහනත් ආරම්භ වූ අතරම, සාමාජිකයන්ගේ එදිනෙදා කටයුතුවලට මින් ලැබුනේ නොමඳ සහයක් විය. සමිතියෙන් සාමාජිකයන්ට ප්‍රතිලාභ අත්වීමත්, සාමාජිකයන් වෙතින් සමාජයට විය යුතු කාර්ය පිළිබඳව කථිකා කළ ඔවුන්, තමන් අකුරු කළ එහෙත් කාලය විසින් අවයව ක්‍රමිකව ක්ෂීණ කරමින් මේ දක්වා නොනැසී පවතින දරුවන් 35දෙනෙකු පමණ අකුරු කරනා පාසල සංවර්නය කිරීම දෙසට අවධානය යොමු කළ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස පළමුව පාසලට පැමිණෙන මාර්ගය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතුවිය.
යටිතල පහසුකම් සංවර්ධනයට බොහෝ ව්‍යාපාරික වෙස්ගත් ධානපතියන් ඉදිරිපත් වුව ද මෙවැනි පාඩු සහිත කර්මාන්තයකට කිසිවකු අත නොගසන බව අවබෝධ  කරගත් සමිති නිලධාරීන් මේ පිළිබඳව වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලයේ උපකාරය යදින්නට විය.
වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් මානෙල් ලියනාරච්චි මැතිනියගේ මඟපෙන්වීම යටතේ කවදත් ප්‍රදේශයේ අත්‍යවශ්‍ය පොදු කාර්්‍යයෙහිදී නායකත්වය ගන්නා අප බලමණ්ඩයේ සභාපතිතුමා සිය පුද්ගලික ධනය හා සවිය මෙයට එක් කිරීමට ඉදිරිපත් වූයේ තවත් සිරගෙයක ඇරඹුම දෑස් ඉදිරිපිට දැකීමට ඇති හෘදසාක්ෂිමය අකමැත්ත නිසාවෙනි.
හරියටම 2010 නොවැම්බර් 16 දිනය නැවතත් ප්‍රදේශයට අතිශය වැදගත් දිනයක් විය. විවිධ ආයුධ සන්නද්ධ සෙබල මූලයත්, රා සැලි සෙළොසක් පානය කොට බමන ගතින් යුතුව පැමිණි යකඩ ඇතාත්, සෙබල මූලය තව තවත් දිරි ගන්වන්නට විය.
ගිරිය පුප්පමින්... ගෝරනාඬු කරමින් ... ඒමේ අත වැනෙමින් මඳකිපී දඟලන යොධයකු මෙන් තනි හුස්මට ගල් හා පස් වැටි පිටින් එහෙට මෙහෙට කරයි.


 ඉදිකරන ලද පුහුලහේන පාසල් මාවත

වෙහෙසකර කාර්ය සිදු කරමින් සිටි යකඩයා දෙස බලාසිටි පාසල් ප්‍රධානී තොන්නකෝන් මහතා ද කර බා සිටියේ නැත. තවත් යෝජනාවකි ........

ලොකු පිනක් ....  මේ.......... අපේ මේ  ගොඩනැගිල්ලට පහල ඇති අරුත් සුන් නටඹුන් ගොඩනැගිල්ලේ පාදම ඉවත් කරදෙන්න .....

විදුහල්පතිතුමාගේ යෝජනාව විය.

කමක් නෑ.... මේ වැඩෙත් කරල ඉවරයක් කරමු. විධානයකි.


පාසල් ගොඩනැගිල්ල පාමුල පාදම ඉවත් කරමින්

දිනක් පුරා වෙහෙස වූ වෙහෙසට අතිරේඛ වැය බරකි. ‍‍ෙහ‍හෝරා කිහිපක් තුළ එකී බරපතල වූ පාදම තිබූ තැනවත් සොයා ගැනීමට නොහැකි ලෙස ඉවත් කොට ඇති අතරම, අදුරේම වැඩ අවසන් කළ සියලුදෙනාම අදුරට සාප කරමින් අදුර හා එක්වන්නටම විය.

දිනය 2011 පෙබරවාරි 03වෙනිදා....
පාසලට මෙන්ම ප්‍රදේශයට ද වැදගත් දිනයක් විය.
..... දිරිය මිනිසුන්ගේ දිරිය දෙගුණ තෙගුණ වී ඇති සෙයකි.

ඹ්.... කුඩා මිනිසුන් විසින් පාසල් ගොඩනැගිල්ල පාමුල ඉවත් කරන ලද ගෙපළ කුඩා සිඟිත්තන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වී ඇත.
මොන අපූරුවක් ද...?
පොඩ්ඩන් එකිනෙකා පෙරළෙමින්, එකිනෙකා පරයමින්, එකිනෙකා වැළද ගනිමින් ගත දුහුවිල්ලෙන් සරහමින් සිතින් සොම්නසින් සතුටු සයුරේ කිමිදෙති.

විධානයකි. ...........................
සැරසේන්... වේන්... පටාස් ...

පොඩ්ඩන් පේළීයේ දුවයි. රැස්වූවන් තම සමීපතමයින්ගේ ජය පතා කාහල නගයි. මුළු පිටියම එකම සැනකෙළියකි. ඝෝෂා පිටියකි.
යකඩ කටා මේ සියල්ල පැදවීමට හඩ තව තවත් වැඩි කරයි.
සියල්ල තොසින්ම සිදු වුනි.




ජාත්‍යන්තර මලල ක්‍රිඩා පිටිය


අඩබෙර නැතිව, ජනප්‍රිය වැඩ නොකළාට පොඩි මිනිසුන් සිදු කරන ලද කුඩා කාර්යයක් මෙලෙසින් මල්ඵල ගැන් වී ඇත.
...අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඇත්තේ ... අපිට ඇයි නැත්තේ ... අපේ කරුමෙද දන්නෙ නැත්තේ... දෛවයට පවරා තිබූ බොහෝ දේ එකමුතු කමෙන්, සාමූහිකත්වයෙන් ජයගෙන ඇති බව රැස්වූ ජනයාගේ මුවඟ රැදි හසරැල් තුළින් මොනවට ඔප්පු විය.

(මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුහුලහේන නැමති ග්‍රාම නිලධාරී වසමේ පුහුලහේන කනිෂ්ඨ විද්‍යාලයට විශාල අඩුවක් ව පැවති මාර්ගය හා පාසල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවති පදනම, පුහුලහේන ග්‍රාම සංවර්ධන සමිතියේ ඉල්ලීම මත වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලය විසින් 2010 ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සකස් කරන ලදි.
එකී සත්‍ය සිදුවීමට අදාල සත්‍ය කථා‍ පුවතයි.)

ග්‍රාම සංවර්ධන නිලධාරී,
වැලිපිටිය.

No comments:

Post a Comment